Test Footer 2

Breakfast pancakes

MAX Radio

SEND YOURE MESSAGE TO ADMIN

Name

Email *

Message *

NOTE

පරිගණකය බය නැතුව අත ගාන්න,අලුත් ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්න,අලුත් ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න,අලුත් ගැජට් මේ හැම දෙයක්ම මෙම වෙබ් පිටුවෙන් ලගදීම බලාපොරොත්තු වෙන්න.. - ලංකා හිට් නිවුස්

Tuesday, June 3, 2014

සංගීතා වීරරත්න සැමියා සමග මුලින්ම කල දේ හෙළි කරයි

ඇය වීරරත්න පවු‍ලේ බඩ පිස්සීය. ඒ නිසාම පවු‍ලේ හැමෝගේම ආදරය හා රැකවරණය නිරන්තරයෙන්ම ඇයට ලැබුණාය. ඇය නොකළ දඟකාරකමක් නැති තරම්ය. ඒ නිසාම නිවසේ ඇත්තන්ට ඇයව පෙනුණේ කිව්ව නාහන චණ්ඩි කොලු පැටියෙකු ලෙසය.දශක කීපයක් ආපස්සට හැරී තම ළමා කාලයට යන්නට අප සංගීතාට  ඇරයුම් කළේ ඒ සමය ඒ තරම්ම සුන්දර නිසාය.
 “පුංචි කා‍ලේ මම වෙනස්ම චරිතයක්. ඇත්තම කිව්වොත් නිතරම අම්මා තාත්තාගෙන් බැණුම් අහන ගුටි කන ළමයෙක්. හිටපු ගමන් මම ඉන්නේ ගස් උඩ. එහෙමත් නැත්නම් ගෙයි වහලෙ උඩ.
“ඉස්කෝ‍ලේ ගිහින් ඇවිත් ‍පොත්පත්වල වැඩ කරන්න මම කැමති නැහැ. පාඩම් වැඩ මගහරිනවා. කාමරේ අස්පස් කරගන්නේ නැහැ. පිස්සන් කොටුව වගේ. ඉස්කෝලෙට අඳින ඇඳුම් සපත්තු ලෑස්ති කරගන්නෙ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා. ඔය වගේ පිළිවෙළක් නැතිව හැදුණු නිසාම අම්මා මට නිතරම දඬුවම් කළා. තාත්තාගෙන් බැණුම් ඇහුවා” සංගීතා ළමා විය සිහිපත් කරන්නේ සිනාසෙමිනි.
සංගීතා පාසල් ගියේ කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයටය. මහගෙදර තිබුණේ පානදුරේ වුවත් ඇය උපන්නේ කොළඹ ශාන්ත මයිකල් මාවතේ සාත්තු නිවාසයේය. 
සංගීතාගේ පියා තිමති වීරරත්නය. ඔහු  චිත්‍රපට රැසක් නිර්මාණය කළ ප්‍රකට සිනමාකරුවෙකි. දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. අම්මා ඩේසි වීරරත්නය. ඇය ගෙදර වැඩ මනාව සැලසුම් කළ අපූරු ගෘහණියකි.
“මම සිනමාවට ආවේ රෝයි ද සිල්වා මහතා නිර්මාණය කළ  ‘ඊට්ස් අ මැටර් ඔෆ් ටයිම්’  චිත්‍රපටයෙන්. එතකොට මගේ වයස අවුරුදු 16යි. ඒ කා‍ලේ මට නිළියක් වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. මට වුවමනා වුණේ තාත්තාගේ ව්‍යාපාරවල ගිණුම්කරණ වැඩකටයුතු, ඒ කියන්නේ තාත්තාගේ ව්‍යාපාරවල හා කලා කටයුතුවල ආදායම් වියදම් ගණන් හදන්න විතරයි. මම කොහොමත් එකවුන්ටින්වලට කැමතියි.’ 
ඒ කා‍ලේ පානදුරේ පිහිටි තිමති වීරරත්න නිවසට නිතරම නළු නිළියෝ පැමිණෙති. ඒ එන නළු නිළියන් අතරින් සංගීතාගේ වඩාත් සිත්ගත් යුවළක් වූයේ විජය කුමාරතුංගයන් හා හෙළ නිළි රැජින මාලිනී ෆොන්සේකාය.
“විජය අංකල් මගේ ප්‍රියතම කෙනා. ඔහු ආ බොහෝ අවස්ථාවල මම ගිහින් ඔහු ළඟ ගැවසෙනවා. මට මතකයි එක දවසක් මම මාලිනී අක්කා සහ විජය කුමාරතුංගයන් ළඟට ගිහින් ඔවුන් සමග පින්තූරයක් ගත්තා. ඒ පින්තූර තවම මා ළඟ සුරක්ෂිතව තිබෙනවා.
“මාලිනී අක්කා විවාහ වෙන්න සූදානම් වෙලා ඒ පණිවුඩය තාත්තට කියන්න අපේ ගෙදර ආපු එකත් මට හොඳට මතකයි. එදා ලකී (ඩයස්) අයියා එක්ක මාලිනී අක්කා එක එක විදිහට පින්තූර ගත්තා. ඒ අපේ ගෙදරදී. ඒකත් මට හොඳට මතකයි.  එදා අපේ ගෙදර කැවුම් කිරිබත් හදලා අම්මා තේ මේසයක් ඇරියා. මේවා ඇත්තටම මගේ ජීවිතයේ සුන්දර මතක සටහන්.”
සංගීතා පවසන ආකාරයට එදා සිට හිතවත් වූ මාලිනී ෆොන්සේකා අදටත් සංගීතාට ඉතා ලැදිය. සංගීතාත් ඒ සෙනෙහෙවන්තකම මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාට අදටත් දක්වන්නීය.
විජය මාලිනී ඇරුණු කොට ටෝනි, රෝයි ද සිල්වා, ජීවන්, වසන්ති, ඩිලානි ආදී තවත් බොහෝ නළු නිළියන් නිතරම වාගේ පානදුරේ නිවසට එනු සංගීතාට මතකය.

“ඒ දවස්වල මම උදේ නැගිටලා ඉස්කෝ‍ලේ යන්න හදද්දී අපේ ගෙදර සා‍ලේ චිත්‍රපටවලට සම්බන්ධ, තාත්තා එක්ක වැඩ කරන කාර්මික අංශයේ ශිල්පීන් හැමෝම නිදි. මම ඉස්කෝ‍ලේ යන්නෙත් ඔවුන්ගේ ඇඟවල් උඩින් පැනලා. ඒ තරමටම චිත්‍රපටවලට සම්බන්ධ විශාල  පිරිසක් අපේ ගෙදර  නිදා ගන්නවා.”
මේ නළු නිළියන්, කාර්මික ශිල්පීන් ඇරුණු කොට සංගීතලාගේ නිවසට ප්‍රදේශයේ ජීවත් වන සිනමා රසික රසිකාවියන්ගෙන්ද අඩුවක් නැත. “විජය මාලිනී දෙන්නා ඇවිල්ල ඉන්නවා කියන ආරංචිය ගියොත් පානදුරේ මාර්කට් එකේ පවා ඉන්න කට්ටිය අපේ ගෙදර ළඟට දුවගෙන එනව මට හොඳට මතකයි.”

මේ ආකාරයේ සිනමා පසුබිමක් තිබූ වීරරත්න පවු‍ලේ බඩ පිස්සීට සිනමා නිළියක් වන්නට නම් කිසිදා උනන්දුවක් නොවුණ බව මුලින් කීවෙමු. පාසල් යන කාලයේ ඇය සිතුවේ ගිණුම්කරණය විෂයය පැත්තෙන් ඉහළට ඉගෙන ගන්නටය.
“ගෙදරදි දඟ වැඩ කළත් ඉස්කෝ‍ලේදී මම වැඩිපුර දඟකාරකම් කළේ නැහැ. හැබැයි යාළුවෝ එක්ක එකතු වෙලා ටීචර්ගේ පුටුවේ සුදු හුණු තවරලා තියෙන එක, බ්ලැක් බෝඩ් එකේ සබන් අතුල්ලලා තියෙන එක වගේ වැඩනම් ඒ දවස්වල කළා. හැබැයි ඒවාට දඬුවම් විඳලා නම් නැහැ.”
නව යොවුන් වියට එන විට ආදර සබඳතා ඇතිවීම ස්වභාවික දෙයකි. ඒ කාලයේ ඇයටත් එවැනි අත්දැකීම් තිබුණාදැයි අපි විමසුවෙමු.
“ඔය වයසෙදි  ආදර  හැඟීම් පහළ නොවුණා නම් අපි රෝගීන් (සිනාසෙයි). ඇත්තටම එහෙම සිතුවිලි ඇතිවුණා. නමුත් ඉස්කෝ‍ලේදි විනය ඉහළින්ම බලන නිසා ඒවාට වැඩි නැඹුරුවක් තිබුණේ නැහැ. ඒ වගේම ගෙදරදී විශේෂයෙන්ම අපේ තාත්තා සැර නිසා ඔය වගේ පටලැවිලි ඇති කරගන්න බය වුණා.
“අපේ තාත්තා හරිම විනයගරුක කෙනෙක්. ඔහු තමන්ගේ කාර්ය මණ්ඩලයෙන් පවා ඒ විනය බලා‍පොරොත්තු වුණා. එක දවසක් තාත්තා එක්තරා කාර්මික ශිල්පියෙකුට ගෙදරින් එළියට විසිවෙන්න ගැහුවා. ඒ ඔහු මත්පැන් පානය කරලා ආවා කියලා. තාත්තා කවදාවත් දර්ශන තලයේදී කාටවත් අනවශ්‍ය විදිහට කතා කරන්නවත් දෙන්නේ නැහැ”
කෙසේ හෝ මේ සීමාමායිම් නිසා සංගීතාද තමන්ටම වාරණයක් දමා ගනිමින් ජීවත් වූවාය. එහෙත් මනුෂ්‍ය දියණියක් ලෙස යම් යම් අවස්ථාවල සිතේ   හැඟීම් ඇති වූ අවස්ථා ඇය සඟවන්නටද උත්සාහ නොකරන්නීය. “ආදර හැඟීම් ඇතිවෙනවා. නැතිවෙනවා. එහෙම තමයි ජීවිතේ. හැබැයි මේවා දුරදිග ගිය සම්බන්ධතා නම් නමෛයි. දුරදිග ගියේ එකම සම්බන්ධතාවයි. ඒ තමයි රොෂාන්ත එක්ක ඇති වුණු සම්බන්ධය. අන්තිමට ඔහු සමග විවාහ වුණා.”
සංගීතා සිනමාවට ආවේ කෙසේදැයි අපි  කීවෙමු. ඒ කුළුඳුල් සිනමා අත්දැකීමෙන් ම ඇය ගෞරවනීය පුද්ගලයෙකු හඳුනා ගත්තාය. ඒ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාය.
“ඒ වනතුරු මට කවදාවත් මිස්ටර් ෆොන්සේකාව හමුවී තිබුණේ නැහැ. නමුත් ඔහු ගැන අහලා තිබුණා. ඒ නිසාම මට ඔහු ගැන තිබුණෙ විශාල ගෞරවයක්. කොහොම හරි පළමු  දවසේම මට ඔහු හා මිතුරුවෙන්න බැරි වුණත් පසුව හිතවත්කමක් ගොඩනැගුණා”
සංගීතාට ගාමිණී ෆොන්සේකා සමග ‘ඊට්ස් අ මැටර් ඔෆ් ටයිම්’ චිත්‍රපටයේ රඟපාන්නට ලැබුණේ ජවනිකා කීපයක පමණි. එහෙත් එයින් පසු දිනක හදිසියේම වාගේ ගාමිණී ෆොන්සේකාගෙන් දුරකථන ඇමතුමක් ඇයට ලැබුණි. ඒ අනුව ගාමිණී අධ්‍යක්ෂණයකළ ‘නොමියෙන මිනිස්සු’ චිත්‍රපටයේ රඟපෑම සඳහා ඇයට ඇරයුම් ලැබුණි.
“මට එදා ඒක අදහාගන්න බැරි වුණා. ඇත්තටම ඒක පුදුමාකාර අත්දැකීමක්.”
මේ හමුවීමෙන් පසුව ගාමිණී සහ සංගීතා අතර විශාල හිතවත්කමක් ගොඩනැගුණි. “මිස්ටර් ෆොන්සේකා තමයි මට ජීවිතය ගැන හුඟක් දේවල් කියලා දුන්නේ. පාටි එකකට ගිහින් රෑ වෙනකං හිටියත්  මට කතා කරලා අහනවා ‘ඇයි ඔච්චර වෙලා ඔතන ඉන්නේ. පාටිය ඉවරවෙලා අතුගාන්නද? දැන් යන්න ගෙදර’ කියලා කියනවා”
“ඇත්තටම ඔහු මේ දේවල් මට කියා දුන්නේ සාමාන්‍ය කෙනෙක් හැටියට ජීවිතේ සාර්ථක කර ගන්නා ආකාරය කියන්න වගේම වෘත්තීය නිළියක් හැටියට ඉන්නවා නම් ඒ ගරුත්වය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන්නේ කෙසේද කියන කාරණා ඒත්තූ ගන්වන්නයි.”
“මිස්ටර් ෆොන්සේකා ඒ පැත්තෙන් බැලුවහම මට තාත්තා කෙනෙක් වගේ හුඟක් ගුරුහරුකම් ලබා දුන්නා. පසු කාලයේ ඔහුත් පවු‍ලේ හැමෝමත් සමග හිතවත් වුණා. මිස්ටර් ෆොන්සේකාගේ දියණිය තනුජා මගේ හොඳ යාළුවෙක්.”
සංගීතාගේ ජීවිතය තුළ ඇය වඩාත් සංවේදී වූ අවස්ථාවන් කීපයක් ඇත. පියාගේ මරණය මෙන්ම ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංග ආදී ශ්‍රේෂ්ඨයන්ගේ අභාවයන්ද ඇය මහත් සේ කම්පනයට පත් කළ සිදුවීම් විය.
“ඇත්තටම තාත්තා මියගිය පුවත මට දැනගන්න ලැබුණේ ඔහුව බලන්න ගෙදර යමින් සිටි අතරමගදී. එදා මට මොනවා වුණාද මම දන්නේ නැහැ. ආරංචිය ආපු හැටියේ මම වාහනය ඇතුළේ ඒ වේදනාව දරා ගන්න බැරුව කෑගැසුවා. මට මොනවා වුණාද කියන්න මතක නැහැ.”
“ඒ වගේම තමයි මිස්ටර් ෆොන්සේකාගේ මරණය. එයත් මා තුළ අතිවිශාල කම්පනයක් ඇති කළා. විජය අංකල් හා එච්.ආර්. ජෝතිපාලයන් මිය ගිය අවස්ථාවලත් විශාල සිත් වේදනාවක් දැනුණා.”
සිනමා ක්‍ෂේත්‍රයේදී ඔබට තරුණ රංගන ශිල්පීන් කීප‍පොළක් හමුවනවා. කමල්, රන්ජන්, දමිත්, ජීවන්, ශෂී මේ අයත් ඔබ සමග හුඟක් හිතවත් වුණා නේද?
“ඔව්. හැමෝම යාළුවෝ.” 
මේ අය අතරින් ඔබ රන්ජන්ට ඉංග්‍රීසිත් ඉගැන්නුවා. මේක අපිට කිව්වේ රන්ජන්මයි. ‘රැජින” පුවත්පතේ පළවන ඔහුගේ ජීවිත කතාවේදිත් ඔහු ඒ ගැන සඳහන් කර තිබුණා?
(සංගීතා මහ හඩින් සිනාසෙයි.)  “ඒක ඇත්ත. රන්ජන් මේක ප්‍රසිද්ධියේ කියලා තියෙන නිසා මම ඒ ගැන කියන්නම්. ඒ දවස්වල මම ඉංග්‍රීසි කතා කරනවා දැකලා  රන්ජන් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ගැන මා එක්ක කතා කළා. කොහොම හරි අන්තිමට දර්ශන තලවල හමුවෙන හැම අවස්ථාවකදීම ඔහු මාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න ගත්තා. ටෙලිෆෝන් කෝල් එකක් ගත්තත් ඉංග්‍රීසියෙන්ම තමයි කතාව. ඇත්තටම සිනමා නළුවන් හැටියට  ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන තිබිමේ වැදගත්කම මම රන්ජන්ට පැහැදිලි කළා. අන්තිමේ ඔහු හොඳින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. ඒක ඉතිං මට සතුටක්”
‘සංගීතාට රොෂාන්තව මුණගැහෙන්නේ අපූරු විදිහකට?
“ඔව්. රොෂාන්තව  මම මුලින්ම දුටුවේ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කරපු දවසේ. හැබැයි මට ඒ පිළිබඳව තිබෙන්නේ පුංචි මතකයක් විතරයි.
මිලිනා සුමතිපාල පවුල කියන්නේ මට හුඟාක් හිතවත් පවුලක්. මමත් ඒ පවු‍ලේ අයව ළඟින්ම ඇසුරු කරනවා. දඹුල්ල ක්‍රීඩාංගණය ඉදිකෙරුණේ තිලංග සුමතිපාල මහතාගේ මූලිකත්වයෙන්. සුමතිපාල පවුල සමග තිබුණු හිතවත්කම  නිසා තමයි මම ක්‍රිඩාංගණය විවෘත කරන දවසේ ගියේ.”
කෙසේ හෝ තවත් දවසක සංගීතා ස්වීඩනයට ගියාය. ඒ සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ මිලිනා සුමතිපාල නිෂ්පාදනය කළ ‘දුවට මවක මිස’ චිත්‍රපටයත් සමගය.
“ඔය කාලෙම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් ධීවර ඇමැති විදිහට එහි පැමිණ සිටියා. ඒ රාජ්‍ය මට්ටමේ සාකච්ඡාවකට. ඔහු මට අපේ තානාපතිතුමා සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී හමුවුණා. කොහොම හරි මහින්ද මහත්තයා එක්ක තවත් ශ්‍රී ලාංකික කීපදෙනකුත් එතැන සිටියා. රොෂාන්තත් ඔහුගේ සොහොයුරු ප්‍රියන්ත අයියාත් ඒ අතර සිටි අය.”
එක් අවස්ථාවක සංගීතා විදෙස් ජාතිකයකු සමග වාදයකට පැටලුනාය. ඒ කතාබහේදී ඔහු ලංකාවේ ත්‍රස්තවාදය ගැන හා ධීවරයන් පිළිබඳව යම් යම් වැරදි ආකල්ප ඉදිරිපත් කරන්නට විය. ලංකාවේ ධීවරයන් නූගත් පිරිසක් බව ඔහු පුලපුලා කීවේය.
“මට මෙතනදී තරමක් කේන්ති ගියා. මම ඔහු සමග වාද කළා” මාළු අල්ලන්න උපාධියක් ඕනද වගේම ත්‍රස්තවාදීන්ගේ කෲර බව ගැනත් කතා කළා.
මේ වාදය අසා සිටි තවත් කෙනෙකු සංගීතාට  එසේ නොකරන ලෙස වටින් ගොඩින් අවවාද කළේ ඇයට පමණක් ඇසෙන පරිද්දෙන්ය.
එදා ඒ විදියට මට අවවාද කළේ රොෂාන්ත. “ඔබ කලාකාරියක්. දේශපාලනය ගැන කතා නොකරන එක හොඳයි නේද” කියලා ඔහු මට සුහදව කිව්වා.
“මේක තමයි අපේ පළමු කතාබහ. ඉන්පසුව අපි දිගින් දිගටම කතා කළා. හොඳ යාළුවෝ වුණා. අවසානයේදී ඔහුගේ පැත්තෙන් අපේ ආදර කතාව පටන් ගත්තා. ඔහොම තමයි අපි දැන හඳුනා ගත්තේ”
“රොෂාන්ත ඉතාමත් නිහඬ ඒ වගේම හොඳට හිතලා බලල වැඩ කරන අපූරු  චරිතයක්. ඔහුව මගේ ස්වාමි පුරුෂයා හැටියට තෝරා ගන්න එකට හේතු වුණේ ඒක විතරයි.”
“ඉතින් මගේ විවාහය, ඒ වගේම දියණිය ‍පෝෂියා ලැබුණු දිනය, මේවා මගේ ජීවිතේ සුවිශේෂ අත්දැකීම්. කලාකාරියක් හැටියට මම සම්මාන කීපයක්ම ලබාගෙන තිබෙනවා. ඇගැයීමට පාත්‍ර වී තිබෙනවා. ඒවාත් මගේ ජීවිතයට වැදගත්.”මේ ආකාරයේ අත්දැකීම් රැසක් කෙටි කාලයක් තුළදී තම ජීවිතයට එකතු කරගත් සංගීතා තවමත් පෙරමුණේ සිටින්නේ කරන දේ කැපවීමෙන් යුතුව කිරීමේ පිළිවෙත නිසාය.
“මම අදටත් රඟපාන්න ආසයි. ඒත් ඇතැමුන් හිතාගෙන ඉන්නවා මම රඟපාන්න එන්නේ නැහැ කියලා. එහෙම රාවයකුත් යනවා. නමුත් හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබුණොත් මම ඒක බාරගන්නවා.” සංගීතා සිනාසී අපේ කතාබහ අවසන් කරමින් එසේ කීවාය.

0 comments:

Post a Comment